අභ්‍යාවකාශයේ හුදෙකලා වූ ගගනගාමියෙක්...
සාර්ථක කරගත හැකි යැයි සිතිය නොහැකි මෙහෙයුමක්...
කවර කලෙක වත් බලාපොරොත්තු නොවූ විරූ අන්දමේ මිතුරෙක්...
රයිලන්ඩ් ග්‍රේස් යනු මනුෂ්‍ය වර්ගයාගේ අවසන් අවස්ථාව සේ සැලකිය හැකි, නිරපේක්ෂ අභ්‍යාවකාශ මෙහෙයුමකින් දිවි ගළවා ගත් අවසන් ගගනගාමියා ය. ඔහු අසාර්ථක වුවහොත් මිනිස් සංහතියත්, මුළු මහත් පෘථිවියත් විනාශ වී යනු ඇත.
එහෙත් තම කරපිට පැටවුණු ඒ මහා වගකීම තබා ඔහුට තමාගේ ම නම වත් මතක් කර ගතනොහැකි ය! ඔහු දන්නේ, තමා ඉතා දීර්ඝ කාලයක් නිඳා සිටි බව පමණි. නින්දෙන් පිබිදෙන ඔහුට දක්නට ලැබෙන්නේ, තමා නිවෙසින් ආලෝක වර්ෂ ගණනක් දුර ඈත සෞරග්‍රහ මණ්ඩලයකට පැමිණ සිටින බවයි. මළමිනී දෙකක් හැරෙන්නට ඔහුගේ තනි නොතනියට අන් කිසිවකු නැත.
ඔහුගේ ගමන් සගයන් ද මියගොස්, ඔහුගේ මතකයන් අපැහැදිලි අන්දමින් මනසට ගලා එද්දී, තමා ඉදිරියෙහි ඇති ජයගත නොහැකි යැයි හැඟෙන, අතිදුෂ්කර අභියෝගය රයිලඩ්ට අවබෝධ වෙයි. මේ කුඩා යානයෙහි අභ්‍යාවකාශය හරහා වේගයෙන් ගමන් කරමින් සිටින ඔහු, නොවිසඳිය හැකි අබිරහසක් විසඳා, මුළුමහත් මනුෂ්‍ය වර්ගයා ම නෂ්ට වීමේ තර්ජනයෙන් ගළවා ගත යුතු ය.
ළඟ ම මනුෂ්‍යයාට ආලෝක වර්ෂ ගණනක් ඈතින් සිටින ඔහු, කාලයට විරුද්ධ ව සටනක යෙදෙමින්, ඒ මහා අභියෝගය තනියම ජයගත යුතු ය! එහෙත්, ඔහු සැබැවින් ම සිටියේ තනි ව ම ද?